Tuesday, March 31, 2015

ශ්‍රී ලාකේය සාම්ප්‍රධායික වාමාංශික ව්‍යාපාරයේ ප්‍රභවය වර්ධනය සහ පරිහානිය

ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ඉතිහාසය ඉතා ඈතට දිව යන කාරණාවකි. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුල අධිරාජ්‍යවාදයෙන් නිදහස් වීමේ අරගලය තුලද බලහත්කාරයෙන් අමතක කරවනු ලැබූ කොට්ථාශයක් ලෙස මෙරට වාමාංශිකයන් හදුනා ගත හැක.

සමාජවාදී සමාජක්‍රමයක් වෙනුවෙන් මෙරට ජනතාව පෙලගැස්වීමේ අරගලය ආරම්භ වන්නේ විසිවන සියවසේ මුල් භාගයේදීය. කාල් මාක්ස් නැමැති දාර්ශණිකයා විසින් 19 වන සියවසේදී ඉදිරිපත් කරන ලද කොමියුනිස්ට් ප්‍රකාශනයෙන් සමාජවාදී ව්‍යාපාරය නව පණක් ලබමින් ඉදිරියට පැමිණෙන්නට විය. ඔහු එහිදී ප්‍රකාශ කරන්නේ  "අවතාරයක් යුරෝපයේ හොල්මන් කරයි - එය කොම්යුනිස්ට්වාදයේ අවතාරයයි. පාප් වහන්සේ සහ සාර් රජුද, මෙටර්නිහ් සහ ගීසෝද, ප‍්‍රංශයේ රැඩිල්වරු සහ ජර්මන් පොලිස් ඔත්තුකරුවෝද යන මේ පැරනි යුරෝපයෙ සියලූ බලවේග මෙම අවතාරය පලවා හැරීම පිනිස ශුද්ධවූ ගිවිසුමකට එලඹ සිටිති." ලෙසය.

මෙම කොමියුනිස්ට් අවතාරය යුරෝපයේ සිට පෙරදිග රාජ්‍යයන්ටද, අප්‍රිකාවටද, ලතින් ඇමරිකාවටද පැතිරෙන්නට ගන්නේ එවකට යූරෝපීය රාජ්‍යයන් විසින් ආසියාවේ සිට ඇමරිකානු මහද්වීපය දක්වා පවත්වාගන යන ලද අධිරාජ්‍යවාදී යටත්විජිත ක්‍රමය තුලදීය.

මෙරට වාමාංශික ව්‍යාපාරය පක්ෂ ක්‍රමයක් ලෙස වර්ධනය වන්නේ ලංකා සම සමාජ පක්ෂයේ ආරම්භයත් සමගයි. නමුත් සමසමාජ පක්ෂයේ ආරම්භය ඇතිවීමට පෙර ඇතිවූ කාරණා විශාල ප්‍රමාණයක් ඇත.
බටහිර අධ්‍යාපනය ලබා මෙරටට පැමිණි ඉහල මධ්‍යම පාන්තික තරුණයන් පිරිසක් විසින් මෙරට වාමාංශික ව්‍යාපාරයේ මූලිකත්වය ගන්නා ලදි. පැවති සාර් වරුන්ගේ පාලනය පෙරලා දමා රුසියානු අධිරාජ්‍යය තුල සමාජවාදී සෝවියට් සමූහාණ්ඩු සංගමය බිහිවීමත් සමග යුරෝපය පුරා සමාජවාදී සමාජ ක්‍රමයක් පිලිබද බලාපොරොත්තු වර්ධනය වන්නට විය.

මේ කාලය තුල යුරෝපය සහ ඇමරිකාව වැනි ධනේශ්වර රාජ්‍යයන්හී සිය උසස් අධ්‍යාපනය ලබමින් සිටි එන්. එම් පෙරේරා පිලිප් ගුණවර්ධන වැනි තරුණයින්, මහාචාර්‍ය හැරල්ඩ් ලැස්කි සහ ස්කොට් නියරින් වැනි මාක්ස්වාදී උගතුන්ගේ අදහස් අනුව මාක්ස්වාදී අදහස් වලට අනුගත වන්නට විය. පසුව පෙරලා මවුරටට පැමිනි මෙම තරුණයන් තම විප්ලවවාදී අදහස් වලට අනුව මෙරට දේශපාලනයට පිවිසීම සිදුවිය.
මේ කාලය වන විට මෙරට ඉංග්‍රීසි යටත්විජිතයක් ලෙස පැවති අතර මෙරටට නිදහස ලබා ගැනීම සදහා වූ අරගලය ඉන්දියාවේ හෝ වෙනත් යටත්විජිතයන් තුල පැවති ආකාරයට දැඩි ස්වභාවයක් නොගත් අතර අධිරාජ්‍යවාදි පාලකයන් සමඟ සම්මුතියෙන් සාමකාමීව කටයුතු කරන තත්වයක පැවතුනි. මෙහිදී මහජනතාව විසින් බලාපොරොත්තු වූ ප්‍රභල අරගලයක් නොමැතිවීමේ රික්තය පිරවීමට මෙම තරුණ වාමාංශික නායකයන් සමත්විය.

1931 වසරේදී පසු කාලයක ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායකයා බවට පත්වූ දොස්තර එස්. ඒ වික්‍රමසිංහ මොරවක ආසනය නියෝජනය කරමින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වීමත් සමග එවකට ව්‍යවස්ථාදායකය තුල පැවති රදල සහ ධනේශ්වර පංතියේ නියෝජනයට තර්ජනයක් කිරීමට මෙරට වාමාංශික ව්‍යාපාරයට හැකි විය. කම්කරු සහ ගොවි ජනතාවගේ දුක්ගැනවිලි සම්බන්දයෙන් රාජ්‍ය මන්ත්‍රන සභාව තුල වික්‍රමසිංහයන් දැඩි අරගලයක නිරත විය.

පසුව සූරිය මල් ව්‍යාපාරය ආරම්භකරමින් අධිරාජ්‍ය විරෝධී රදල විරෝධී ගමනක් ආරම්භ කරන ලද එන්.එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, එස්.ඒ.වික්‍රමසිංහ, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, ඩොරීන් යං, සෙලීනා පෙරේරා, රොබට් ගුණවර්ධන, වර්නන් ගුණසේකර, විල්මට් ඒ. පෙරේරා, ජේ.සී.ටී. කොතලාවල, ඒම්.ජී. මෙන්ඩිස් සහ බී.ජේ. ප්‍රනාන්දු යන අය රදල සහ ධනේශ්වර විරෝධි මතය මහජනයා අතට ගෙන යන ලදි. අතර එකල පැතිරෙමින් පැවති මැලේරියා වසංගතයට ගොදුරු වූ ජනතාවට මහත් සේවයක් කරන ලදි. එමඟින් විශාල මහජන ප්‍රසායක් ගොඩනගා ගැනීමට මෙම තරුණ නායකයන් සමත් විය.

ලංකා සම සමාජ පක්ෂය මෙරට මුල්ම දේශපාලන පක්ශය ලෙස බිහි වන්නේ මෙවන් පසුබිමකය. පසුකාලීනව ලෝකයේ පැවති ප්‍රභලම ට්‍රොට්ස්ස්කිවාදී දේශපාලන ව්‍යාපාරයක් බවට සමසමාජ පක්ෂය පත්වන්නේ සෝවියට් සංගමයත් මහජන චීනයත් යන ලොව ප්‍රභලම සමාජවාදී රාජ්‍යයන් දෙකම එම දේශපාලන මතය ප්‍රතික්ෂේප කරනු ලබන පසුබිමකය.

පසුකාලීනව ලංකා සම සමාජ පක්ශය විවිධ පක්ශ ලෙස කැඩි බිදී යාම සිදු වන්නේ යම් යම් න්‍යායාත්මක නොගැලපීම් මතය. නමුත් වාමාංශික ව්‍යාපාරය මෙරට පීඩිත පන්තිය වෙනුවෙන් සිදු කරන ලද අරගලය විටෙක එක්වත් තවත් විටෙක වෙන් වෙන්වත් සිදු කරන ලදි. සාම්ප්‍රධායික මාක්ස්වාදී අදහස වූ විප්ලවය වෙනුවට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම්ව සමාජවාදී සමාජ ක්‍රමයක් සදහා සටන් කිරීම ඔවුන් තෝරා ගන්නා ලදි. මෑත කාලයේදී වාසුදේව නානයක්කාර මහතා විසින් කරන ලද ප්‍රකාශයක් මේ සදහා හොදම උදාහරණය සපයනු ඇත. ශ්‍රී ලංකාව වසර 67ක් පුරා පන්ති අරගලය තුල අත් කරගත් සියලු ජයග්‍රහණ සම්මුතීන් මත ඇතිකරගත් ජයග්‍රහණ විනා කැරලිකාරී තත්වයන් තුල අත් කරගත් ජයග්‍රහණයක් නොමැති බව ඒ මහතා ප්‍රකාශ කර සිටියේය. මෙම ප්‍රකාශය පූර්ණ වශයෙන් නිවැරදි නොවූවත් විශාල සත්‍යයක් ඇති ප්‍රකාශයකි.

1947 මැතිවරණයට ඉදිරිපත්වන වාමංශික පක්ෂ සමසමාජ පක්ෂය 10 ක් ද කොමියුනිස්ට් පක්ෂය 5 ක්ද බොල්ෂවික් ලෙනින්වාදී පක්ෂය 5ක් ලෙස ද ආසන 20ක් දිනා ගන්නා අතර මුලු ඡන්ද සංඛ්‍යාවෙන් 20% ක් දිනා ගන්නා ලදි. එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව සියලු පක්ෂ එක්ව නව ආණ්ඩුවක් බිහි කිරීමේ උත්සාහය ගත්තද බොල්ෂවික් ලෙනින්වාදී පක්ෂයේ කටයුතු හේතුවෙන් එම උත්සහය අසාර්ථක විය.
මේ අතර 1948 පෙබරවාරි 04 වන දින ශ්‍රී ලංකාව ඩොමීනියන් තත්වය ලබන අතර කෙටි කාලයක් යන විටම 1951දී බණ්ඩාරනායක ප්‍රමුඛ සිංහල මහා සභාවේ පිරිස එක්සත් ජාතික පක්ෂ රජයෙන් ඉවත්වන අතර 1952 දී නැවතත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහි විය. මේ සමඟම මෙරට ආර්ථිකයේ අර්බුදයක් ඇතිවන අතර රජය විසින් පවත්වාගන ගිය සහන කටයුතු අහෝසි කරන්නට විය. මෙයට විරුද්ධව විශාල ජන මතයක් ඇති වූ අතර එයට නායකත්වය දුන් වාමාංශික පක්ෂ 1953 සමස්ථ මහා වැඩවර්ජනය හා හර්තාලයක් ආරම්භකරන ලදි. ඉතා ඉක්මනින්ම රට පුරා පැතිරුනු මෙම හර්තාලය විශේෂයෙන්ම වමේ ව්‍යාපාරය ප්‍රභල ප්‍රදේශ වලින් අති විශාල සහයක් ලැබුනි. නමුත් එවකට පැවති රජය දැඩි මර්ධනකාරී ලෙස අරගලය මැඩ පවත්වන ලද අතර නව දෙනෙකු වෙඩි තබා ඝාතනය කරන ලදි.

1953 හර්තාලයේ දී ඇතිවූ තත්වය මත 1956 දී එක්සත් ජාතික පක්ෂ රජය පරදවා මහජන එක්සත් පෙරමුණු රජයක් පිහිටුවන ලද අතර එයට යම් යම් වාමාංශික පක්ෂ සහය දුන්නද ප්‍රධාන පක්ෂ වල සහයක් නොවීය. ඔවුන් නිතරඟ ගිවිසුම් හරහා පමණක් සුලු සහයක් ලබා දෙන ලදි.

සිංහල රා‍ජ්‍ය භාෂාව බවට පත්කිරීමේදී එයට ප්‍රභලම ප්‍රතිරෝධය දක්වනු ලැබූයේ වාමාංශික ව්‍යාපාරයයි "භාශා දෙකක් නම් එක රටයි, එක භාශාවක් නම් රටවල් දෙකයි" යනුවෙන් ආචාර්‍ය කොල්වින් අර්. ද සිල්වා මහතා විසින් කරන ලද ප්‍රකාශය අදටත් ඉතා වැදගත් ප්‍රකාශකි.

1963 දී බොරැල්ල අතුරු මැතිවරනයේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ දෙකම පරාජය කරමින් වාමාංශික එක්සත් පෙරමුණ ජය ලබාගන්නා ලදි.  මෙමගින් වාමාංශික පක්ෂ වල එක්සත් භාවය පෙන්නුම් කරන ලද අතර. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාමාංශික පක්ෂ තම රජයට එක් කර ගැනීමට උත්සාහයක් දරණ ලදි.

මෙහි ප්‍රතිපලයක් ලෙස සම සමාජ පක්ෂය පෙර පැවති අරගල දේශපාලනයෙන් ඉවත්ව නිදහස් පක්ෂයත් සමග සභාග දේශපාලනයට එක් වීම දක්නට ලැබේ. 1965 දී සභාගය පරාජය කරමින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ හත් හවුල් ආණ්ඩුව පිහුටුවන ලද අතර නැවත වරක් 1968 දී නිදහස්,සම සමාජ, කොමියුනිස්ට්, යන පක්ෂ එක්ව 1970 මැතිවරණයට ඉදිරිපත් වී තුනෙන් දෙකක ආසන ප්‍රමාණයක් සහිත නව රජයක් පිහිටුවන ලදි. නිදහසින් පසු ඉතිහාසයේ බිහිවූ ප්‍රගතිශීලීම රජය ලෙස හදුනා ගත හැකි මෙම රජය විසින් 1972 මැයි මස ජනරජ ව්‍යවස්ථා සම්මත කිරීම, ඉඩම් ප්‍රතිසංස්කරණ පනත 1975 ඉඩම් සංශෝධන මගින් විදේශයන් සතු වතු සමාගම් පවරා ගැනීම, විදේශ විනිමය වංචා විමර්ශණය ගෙවල් අයිතිය සීමාව ඇතුළු වැදගත් පියවරයන් විශාල ගත්තේ ය. 1971 ඇති වන මාක්ස්වාදී කැරැල්ල මැඩ පැවැත්වීමට වාමාංශික නායකයින් සහය දීමද සැලකිය යුතු කරුණකි. 1975 වන විට සමඟි පෙරමුණු රජයෙන් වාමාංශික පක්ෂ ඉවත් වන අතර 1977 මැතිවරණයේදී අන්ත පරාජයකට පත්වන වාමාශික පක්ෂ එකදු ආසනයක් වත් දිනා ගනු ලබන්නේ නැත.

1983 ජූලි මස ඇතිවූ කලු ජූලිය හේතුවෙන් එවකට පැවති එක්සත් ජාතික පක්ෂ වාමාංශික පක්ෂ තහනමකට ලක් කරන අතර නායකයන් විශාල ප්‍රමාණයක් අත් අඩංගුවට ගන්නා ලදි. පසුව ඇතිවන සමාජ ආර්ථික තත්වයන් හේතුවෙන් ග්‍රාමීය ජනයා අතර විශාල අසහනයක් ඇතිවන අතර එහි උච්චස්ථානයට පත් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරම්භ කරන තරුණ කැරැල්ලයි. 1971 දි සිදු කලාක් මෙන් ආයුධ සන්නද්ධ අරගලයක් මගින් සමාජවාදී රාජ්‍යයක් බිහිකිරීමේ අරමුණෙන් ඇති වූ මෙම අරගලය අවසන් වූයේ 60,000 කට අධික තරුණ ජීවිත රටට අහිමි කරමිනි. 1988 මහ මැතිවරණයට එක්සත් සමාජවාදී පෙරමුණ ලෙස ඉදිරිපත් වන කොමියුනිස්ට්,සම සමාජ, නව සම සමාජ, මහජන පක්ෂය යන පක්ෂ ආසන 3ක් දිනා ගන්නා අතර මහජන එක්සත් පෙරමුණද වෙනමම තරඟ කොට ආසන තුනක් දිනාගනු ලබයි.

වසර 17 ක් පැවති එක්සත් ජාතික පක්ෂ රජය පරාජය කරමින් පොදු පෙරමුණු ආණ්ඩුව බිහි වන්නේ පැරණි වාමාංශික පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධාන ගතවීම මගිනි එවිට ඉතා දුර්වල තත්වයකට පත්ව සිටි ජනතා විමුක්ති පෙරමුණ ද පැවති පාලනය පෙරලා දැමීමට සහය පල කරනු ලබන්නේ සංධානයට එක් නොවෙමිනි. දිගින් දිගටම සභාග ආණ්ඩු වලට විරුද්ධත්වයක් දක්වනු ලබන ජනතා විමුක්ති පෙරමුණද තම දිගු කලක් පැවති මතය වෙනස් කරමින් 2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය බිහි කරමින් සභාගයකට එක් වනු දැකිය හැකි විය. 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා දැමීමේද විශේෂ කාර්‍යභාරයක් වාමාංශික ව්‍යාපායේ කොටස් විසින් දරනු ලබයි. සම සමාජ කොමියුනිස්ට් යන් පක්ෂ වලින් වෙන්වූ ක්‍රියාකාරිකයන් සෘජුවද ජනතා විමුක්ති පෙරමුණ වක්‍රවද මෙම කාර්‍ය්යට සහය විය.

වාමාංශික ව්‍යාපාරයේ පරිහානිය

නිදහස ලබන කාලය වන විට ඉතා ප්‍රභල දේශපාලන බලයක් දරාගන සිටි වාමාංශික ව්‍යාපාරය මෑත කාලය වන විට විශාල ලෙස පරිහානියකට ලක්වී තිබීම දැකිය හැක. මෙසේ සිදුවීමට විශාල සමාජ, දේශපාලනික මෙන්ම ආර්ථික කාරණාද බලපෑම දැකිය හැක.

1935 දී ආරම්භ වන සම සමාජ පක්ෂය ප්‍රමුඛ වාමාංශික ව්‍යාපාරයේ නායකයින් බහුතරය බටහිර අධ්‍යාපනය ලත් ඉහල මධ්‍යම පාන්තික පිරිසක් විය. ඔවුන්ගේ දේශපාලනික කටයුතු තුලින් දිලිදු ජනතාව ආකර්ෂනය කර ගැනීමට ඔවුන් සමත් වූවත් රටේ ජන මනස හදුනා ගැනීමේදී ඔවුන් අසාර්ථක විය හොදම උදාහරණය ලෙස දුටු ගැමුණු රජතුමා ගඩොල් මෝඩයා ලෙස හැදින්වීම වැනි කාරණා හදුනා ගත හැක. මුලු මහත් සිංහල බෞද්ධ සමාජය විසින් වීරත්වයෙන් සලකන අයකුට අපහාස කිරීම විරුද්ධ දේශපාලනික කණ්ඩායම් වාමාංශිකයන්ට එරෙහිව යොදාගන්නා ලද ප්‍රධානතම අවියකි. කාලයත් සමඟ මෙරට මධ්‍යම පන්තියේ සිදුවූ වර්ධනයද වාමාංශික ව්‍යාපාරයේ පරිහානියට හේතු විය. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ධනේශ්වර කණ්ඩායම් වලට විකල්පයක් ලෙස සිටි වමේ පක්ෂ වෙනුවට ජාතිකවාදී බලවේග මතුවීම මගින් වමට බරව සිටි විශාල ජන පිරිසක් ජාතිකවාදී බලවේග සමග එක් වීමද දැකිය හැකි විය. මෙයට හොදම උදාහරණය නම් බණ්ඩාරනායකගේ නික්ම යාම තුලින් වම සහ දකුණ අතර පැවති දේශපාලන රික්තය සිංහල බෞද්ධ ජාතිකවාදය මගින් පිරවීමයි. වාමාංශික ව්‍යාපාරයේ යෝධයකු වූ පිලිප් ගුණවර්ධන ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ මාක්ස්වාදය අතහැර වාමාංශික ජාතිකවාදී දේශපාලනයකට මාරුවීමද දැකිය හැක. තවද 1953 දී හර්තාලය සිදුවිමේදී ව්මේ නායකයන් විසින් එය ඉදිරියට ගෙන යාමට ඉදිරිපත් නොවීම මඟින් ඔවුන් පිලිබද තිබූ විශ්වාසය බිදවැටීමක් සිදුවිය පසු කාලයේදී ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රධාන චෝදනාවක් බවට පත්වූයේද හර්තාලය පාවාදීමයි.

මාක්ස්වාදී න්‍යායන් මත පදනම්ව දේශපාලන කටයුතු සිදු කරන වාමාංශික දේශපාලන පක්ෂ අභ්‍යන්තර මතගැටුම් මත දෙකඩ වීම ද වමේ ව්‍යාපාරයේ පරිහානියට හේතු විය. අදටද ලංකාවේ තිබෙන ලියාපදිංචි දේශපාලන පක්ෂ 64 අතරින් සංධාන සදහා පිහිටුවා ගත් පක්ෂ සහ නාමික පක්ෂ ඉවත් කලහොත් බහුතර පක්ෂ ප්‍රමාණයක මුල සෙවීමේදී එම පක්ෂ සම සමාජ පක්ෂයේම බෙදීම් වල දිගුවක් ලෙස හදුනා ගත හැක.

1964 වන විට ජනතා විමුක්ති පෙරමුණ බිහිවීමද පැරණි වම හා අලුත් වම ලෙස බෙදීම් රේඛාවක් ඇති වීමද වාමාංශික ව්‍යාපාරය අධ්‍යයනයේදී ඉතා වැදගත් වේ. 2008 වන විට වසර 40කට වඩා කාලයක් නොබෙදී පැවති ජනතා විමුක්ති පෙරමුණද අභ්‍යන්තර අර්බුධ හේතුවෙන් දෙකඩ වන අතර ජාතික නිදහස් පෙරමුණ ලෙස වෙනම දේශපාලන පක්ෂයක් බිහිවීමත් විමල් වීරවංශ ප්‍රමුඛ කණ්ඩායමක් මාක්ස්වාදයෙන් යම් ප්‍රමාණයක් ඈත් වෙමින් වාමාංශික ජාතිකවාදය දෙසට නැඹුරු වෙනු දැකිය හැක. ඉතා කෙටි කාලයක් තුල නැවත වරක් අභ්‍යන්තර පිපිරීමකට ලක් වන් ජනතා විමුක්ති පෙරමුණ 2012 වනවිට පෙරටුගාමි සමාජවාදී පක්ෂය ලෙස නැවතත් දෙකඩ වනු දැකිය හැකි විය.  එසේම වාමාංශික ව්‍යාපාරයේ පරිහානියට ප්‍රරධාන හේතුවක් ලෙස සංධාන ගත වීම හදුනා ගත හැක. 1970 මැතිවරණයේ ඇති කරගත් සංධානය 1975 වන විට බිද වැටීමත් 1977 දී වාමාංශික පක්ෂ කිසිදු ආසනයක් දිනා නොගන්නා තත්වයට පත්වීමත් පසු කාලීනව පාර්ලිමේන්තුව තුල වාමාංශික පක්ෂ වල හඩ නොඇසී යන තත්වයට පත්විය. ජනතා විමුක්ති පෙරමුණ පමණක් පවතින රජයන් විවේචනය කරන තත්වයක් ඇති වීම පැහැදිලි ලෙසම හදුනා ගත හැක.

ජාත්‍යන්තර දේශපාලනයේ සිදුවූ හැල හැප්පීම්ද මෙරට වාමාංශික ව්‍යාපාරයේ පරිහානියට දායක වූ බව කිව හැක. මාක්ස්වාදය ලොවපුරා විවිධ රාජ්‍යයන් තුල විවිධ අත්හදා බැලීම් වලට ලක්වීමත් මෙරට වාමාංශික ව්‍යාපාරයට බලපානු ලැබීය. මහජන චීනය වෙළදපොල ආර්ථික ක්‍රමයට එක්වීම, 1989 දෙසැම්බර් 25 වන දින සෝවියට් සංගමය බිද වැටීමත් ලොව පුරා සමාජවාදී ව්‍යාපාර වලට දරුණු ලෙස බලපාන ලදි.

තවද 1980 දශකයෙන් පසු මෙරට ජාතිකවාදී දේශපාලනය නැවත වරක් හිස එසවීමද ජර්මානු සමාජවාදයට වඩා දේශීය ජාතික චින්තනය ජනතාව අතරට ගෙන යාමේ පහසුවද වාමාංශික ව්‍යාපාරය මුහුණදෙන විශාල අභියෝගයකි.


මූලාශ්‍ර
·         Karl Marx, Friedrich Engels. (1848). Manifesto of the Communist Party. In: Manifesto of the Communist Party. London: -. p2.
·         D. E. W. Gunasekara. (2007). Whither Lanka’s left movement?. Available: http://www.sundaytimes.lk/070708/News/nws1.html. Last accessed 05th Feb 2015.
·         W. T. A. Leslie Fernando . (2009). The origins of the Leftist Movement in Sri Lanka. Available: http://www.sundayobserver.lk/2009/03/08/rev15.asp. Last accessed 05th Feb 2015.
·         Chamara Sumanapala. (2014). What is ‘left’ of the left movement in Sri Lanka . Available: http://www.nation.lk/edition/news-features/item/32365-what-is-%E2%80%98left%E2%80%99-of-the-left-movement-in-sri-lanka.html. Last accessed 05th Feb 2015.
·         Shyamon Jayasinghe. (2014). The Four Segments Of The Lankan Left Movement. Available: https://www.colombotelegraph.com/index.php/the-four-segments-of-the-lankan-left-movement/. Last accessed 05th Feb 2015.
·         නලින් සුබසිංහ. (201). ශ්‍රී ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරයේ ඉතිහාසය (1). Available: https://indhrakiilaya.wordpress.com/2013/05/10/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%. Last accessed 05th Feb 2015.
·         එස්‌. සුදසිංහ. (2013). 70 වසරක කොමියුනිස්‌ට්‌ පක්‌ෂ හා වාමාංශික ව්‍යාපාර. Available: http://www.divaina.com/2013/07/01/mano04.html. Last accessed 05th Feb 2015.

·         අනුර ප්‍රේමලාල්. (2010). සමාජවාදී ජනතා අරගලයේ පෙර ගමන් කරුවෝ. Available: http://www.dinamina.lk/2010/07/03/_art.asp?fn=f1007034&p=1. Last accessed 05th Feb 2015.


No comments:

Post a Comment

අදහස්, යෝජනා, චෝදනා,අඩුපාඩු සියල්ල සතුටින් බාරගනිමි.