Friday, August 1, 2014

පොදු අපේක්ෂක තෛලය සාර්ථකද?



මෙරට මුහුණදී ඇති විශාලම අභියෝගය රාජපක්ෂ පාලනය බවත් එම පාලනය පෙරලා දැමීමේන් සහ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමත් මගින් මෙරට යහමගට ගත හැකි බව අපේ සමහර දේශපාලන විචාරකයෝ නින්දෙන් අවදිවී දොඩවන්නට පටන්ගෙන ඇත.

මා දකින ආකාරයට මෙරට මුහුණදෙන විශාලම අභියෝගය රාජපක්ෂ පාලනය නොව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට අභියෝග කල හැකි ප්‍රභල චරිතයක් විපක්ෂය තුල හෝ රජය තුල නොමැතිවීමත්, ඔහුගෙන් පසු මෙරට බාර ගැනීමට ප්‍රභල නායකයකු තවමත් බිහිවී නොමැතිවීමත්ය. එයට හොදම උදාහරණය වන්නේ රාජපක්ෂ පාලනය පෙරලා දැමීමට විදේශ තානාපති අංශ වල සහය හිරිකිතයකින් තොරව ලබා ගැනීමට මෙරට විපක්ෂය සූදානම් වීමය. විපක්ෂයේ නොහැකියාව මෙයින් පැහැදිලිවම හදුනාගත හැකි බව මගේ වැටහීමයි. තවද ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තම නායකයා බලයෙන් පහකර ගැනීමට විදෙස් සහය ගැනීමට  අප ජාතියක් වශයෙන් ලැජ්ජා විය යුතුය.

මෙරට ජනාතාව මහින්ද රාජපක්ෂ දිගින් දිගටම බලයට පත් කරනු ලබන්නේ ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැති බැවිනි. මෙරට පැවති සියලුම ආණ්ඩු මෙන්ම රාජපක්ෂ ආණ්ඩුවද අතිශයින් දූශිත පාලනයක් බව මෙරට අති මහත් බහුතර ජනතාව නොදන්නවා යැයි සිතීම අනුවන කමකි. ඒ කෙසේ වුවත් මෙරට ජනතාව බහුතරයක් තවමත් මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස තබා ගැන සිටීමට සූදානම්ව සිටී.

මේ අතර නැවතත් විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකු මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් කල යුතු බවට කතාබහක් රට පුරා පැතිරී යමින් පවතින්නේ රාජපක්ෂ පාලනය සතු ජනප්‍රියත්වය අඩු වෙමින් පවතින වටපිටාවකය. මෙහිදී සැලකිය යුතු විශේෂ කාරනාවක් වනුයේ පැරණි වාමාංශිකයන් සහ පැරනි නිදහස් පාක්ෂිකයන්ද රජය ගැන කලකිරීමකින් සිටීමයි. මෙම කලකිරීමට ප්‍රධාන හේතුවක් ලෙස නාමල් රාජපක්ෂගේත් බැසිල් රාජපක්ෂගේත් ක්‍රියාකලාපය හේතුවී ඇති බව මගේ වැටහීමයි.

විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස පසුගිය දිනවල ප්‍රධාන වශයෙන් නම් පහක් සමාජ ජාල වෙබ් අඩවි හරහා ප්‍රසිද්ධ විය. චන්ද්‍රිකා බණ්ඩාරනායක, රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක, මාදුළුවාවේ සෝභිත හිමි, ශිරාණි බණ්ඩාරනායක මෙම නම්ය. ජනාධිපතිවරණයකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ ට මෙම එක් එක් පුද්ගලයන්ගෙන් එල්ලවිය හැකි අභියෝගය  වෙන වෙනම සහ පොදුවේ සලකා බැලිය යුතුය.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය මෙරට හිටපු ජනාධිපති වරියක වීමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමය සතු වීමත් හේතුවෙන් ඇයට යම් බලපෑමක් කල හැකි යයි යමෙකුට තර්ක කල හැකි වුවත් 2010 ජනාධිපතිවරනයෙන් එම තර්කය නිශේදනය වී ගියේ අඩුම තරමේ අත්තනගල්ල ආසනයවත් සරත් ෆොන්සේකා මහතාට ජය අත්කරදීමට එතුමියට නොහැකිවීමෙනි. තවද කිසිදු දිනක වේලාවට වැඩක් නොකරන බවට ප්‍රසිද්ධියක් ලබා සිටින එතුමියගේ පාලන සමය ගැන මෙරට ජනතාව අමතක කර ඇතැයි සිතිය නොහැක. එබැවින් කිසිදු ලෙසකත් මහින්ද රාජපක්ෂට අභියොගයක් කිරීමට  චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට හැකි වේ යැයි සිතිය නොහැක. තවද චන්ද්‍රිකා,රනිල් අනුර සංධානයක් ඇතිවීමට ඇති ඉඩ ඉතා අඩු බව සැලකිය යුතුය. 

රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂට අභියෝගයක් නොවේයැයි කිසි විටකත් කිව නොහැක 2005 මැතිවරණයේදී උතුරේ ඡන්දය පැවැත්වූයේ නම් රනිල් වික්‍රමසිංහ මහාතා අනිවාර්යෙන්ම ජය ගනු ඇත. නමුත් මේ 2005 නොවේ. වික්‍රමසිංහ මහාතාගේ ජනප්‍රියතාව ඉතා  විශාල පිරිහීමකට ලක්වි ඇති ඇතර පසුගිය කාලයේ පක්ෂය තුල පැවති බල අරගලය ඒ.ජා.ප ය සතු සංවිධාන ශක්තිය තවදුරටත් බිද වට්ටවන ලදි. දැන් දැන් මේ ගැටුම් සමතයකට පත්වීම හේතුවෙන් පක්ෂය නැවතත් අලු ගසා නැගිටිනු ඇත. නමුත් ඒ සදහා කාලය අවශ්‍යය. ජනාධිපතිවරණය පැවැත්වීම කල් ගතවීම එ.ජා.පයේ ප්‍රතිසංවිධාන කටයුතු සදහා වාසි සහගත වනු ඇත. එවැනි අවස්ථවකදී සිදුවන්නේ මහින්ද රාජපක්ෂ පාලනය කලකිරුනු වාමාංශිකයන් සහ මධ්‍යස්ත ඡන්දදායකයන් පිරිසක් ජ.වි.පෙ අපේක්ෂකයාට සහය දීමත් එයින් වාසියක් ලබාගැනීමට වික්‍රමසිංහ මහතාට හැකිවීමත්ය. දකුණ සහ බස්නාහිර පලාත් මැතිවරණයේ දී මෙලෙස කලකිරුනු පිරිසක් ජනතා විමුක්ති පෙරමුණටත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයටත් ඡන්දය ප්‍රකාශ කිරීම දකින්නට ලැබුනත් ජාතික මැතිවරණයකදී ජනතාව එලෙසම හැසිරේ යයි සිතිය නොහැක. නමුත් වික්‍රමසිංහ මහතාට කිසි ලෙසකින් පොදු අපේක්ෂකයකු විය නොහැක. මන්ද යත් ජ.වි.පෙ කිසි ලෙසකින්වත් එ.ජා.ප නායකයා වෙනුවෙන් දේශපාලනය නොකිරීමයි. එසේ වුවහොත් සිදුවන්නේ ජ.වි.පෙ තමා විසින්ම තමන්ගේ දේශපාලන මරතොන්ඩුව දමා ගැනීමයි

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ඉදිරිපත්වීම විශේෂත්වයේ ලා සැලකිය යුතුය. උන්වහන්සේ කිසිදි දේශපාලන පක්ෂයකට අයත්නොවීමත් උන්වහන්සේ දීර්ග කාලයක් පුරාවට ගොඩනගාගෙන ඇති ප්‍රතිරූපයත් උන්වහන්සේට සහය වනු ඇත. 2010 දී සරත් ෆොන්සේකා මහතා මෙන්ම විවිධ අදහස් දරන්නන් එක් වේදිකාවකට කැදවීමට උන්වහන්සේට හැකිවනු ඇත. නමුත් සිංහල බෞද්ධ බහුතරය මේ සම්බන්දයෙන් විරෝධාකල්පයක් දක්වනු ඇති බව මගේ හැගීමයි. බොදු බල සේනාවට සිංහල සමාජයෙන් ප්‍රතිරෝධයක් එල්ල වන්නේ යම් සේද එවැනිම ප්‍රතිරෝධයක් සෝභිත හිමියන්ටද එල්ල වනු ඇත. තවද දෙමළ සහ මුස්ලිම් ඡන්ද දිනා ගැනීමේදී බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට විශාල අභියෝගයකට මුහුණදීමට සිදුවනු ඇත.

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනයක මැතිනිය මෙරට දේශපාලනය තුල ජනප්‍රිය වන්නේ ඇයට එරෙහිව ඉදිරිපත්වූ දෝෂාභියෝගයත් සමගය. පොදු අපේක්ෂක සටනේ සිටින දුර්වලම තේරීම වන්නේද ඇයයි. ඇයට කාලයක් තුල ගොඩ නගාගත් ප්‍රතිරූපයක් නොමැත. ඇය ජනප්‍රිය වන්නේ දූශන චෝදනාවක්ද සමගය. වසර ගනනක් පුරා යුධ හමුදාපති වරයා ලෙස විශිෂ්ඨ ප්‍රතිරූපයක් ගොඩ නගා ගෙන සිටි සරත් ෆොන්සේකා මහතා මෙන් නොව ශිරාණි බණ්ඩාරනයක ජනතාව අතරට යන්නේද බරපතල චෝදනාවක් සමගය තවද ඇය දැඩි ෆෙඩරල් වාදී අදහස් දරන්නියක වන බව මෙරට ජනතාව දනී. ඒකීය ලංකාවක් වෙනුවන් පෙනීසිටින ඒ වෙනුවෙන් තම ජීවිත පූජා කල ජනතා විමුක්ති පෙරමුණ ෆෙඩරල් වාදීයකු තම අපේක්ෂකයා කර ගනු ඇතැයි සිතිය නොහැක.  

ජනතා විමුක්ති පෙරමුණේ නව නායක අනුර කුමාර දිසානායක මහතා මෙම පිරිස අතර සිටින ප්‍රභලම පොදු අපේක්ෂකයා යැයි සිතිය හැක එයට හේතුවක් ලෙස, ජ.වි.පෙ ට එරෙහිව කිසිදු දූශණ චෝදනාවක් එල්ල වී නොමැතී වීම හැදින්විය හැක. යුද්ධයට පෙර  සිදු කරන ලද මෝඩ දේශපාලන තීන්දුව නොවන්නට ජ.වි.පෙ දේශපාලන බලය මීට වඩා වැඩි වන්නට ඉඩ තිබුණි. එපමණක් නොව 2010 ජනාධිපතිවරණයේදී ෆොන්සේකා මහතාට තවත් ඡන්ද ප්‍රමාණයක් එකතු කරවාදීමට ජ.විපෙ හැකි වන්නට ඉඩ තිබුනි. තම ශිෂ්‍ය ව්‍යාපාරයේ හැසිරීමට හැරෙන්නට පසුගිය අවුරුදු 20 ඇතුලත ජනතා විරෝධයක් ජ.වි.පෙ ට එල්ල වූ බවට මට මතකයක් නැත. රාජපක්ෂ පාලනය කලකිරුනු අතිශය බහුතරයක් තම ඡන්දය ජ.වි.පෙ ට පල කිරීමට මැලිවනු ඇතැයි සිතිය නොහැක. නමුත් ඔවුන්ට කිසිදු ලෙසකින් තනිව මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා දැමිය නොහැක. එ.ජා.ප යේ සහය ජ.වි.පෙ අපේක්ෂකයකුට ලැබේ යැයි සිතිය නොහැක්කේ උපතින්ම මේ පක්ෂ දෙක අතර පවතින දරුණු ගැටුමයි.

අවසාන වශයෙන් කිව හැක්කේ මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහි බොදු අපේක්ෂක ලැයිස්තුවේ සිටින පස් දෙනාගෙන් ප්‍රභලම තෝරා ගැනීම් දෙක රනිල් වික්‍රමසිංහ මහතා සහ අනුර කුමාර දිසානායක මහතා යන්නයි. නමුත් එකිනෙකට නොගැලපෙන මතයන් දෙකක සිටින දෙපාර්ශවයක් එක් කිරීම ඉතා අසීරු කාරනාවකි. එබැවින් මීලග ජනාධිපතිවරණයට ප්‍රධාන පක්ෂ තුනෙන්ම අපේක්ෂකයන් ඉදිරිපත් වීමට ඇති ඉඩ වැඩිය. බෙදුනු වමේ ඡන්ද වලින් වැඩි වාසියක් අත් කරගත හැක්කේ එ.ජා.ප අපේක්ෂකයාටය. ජ.වි.පෙ විසින් නැවතත් එ.ජා.ප ට වාසි වන ලෙස හැසිරීමට සූදානම්දයි අප සිතා බැලිය යුතුය. නමුත් අප මතක තබා ගත යුතු කරුනනම් දේශාපාලනයේදී සිදුවිය නොහැකි දෙයක් නොමැති බවයි.

Sunday, July 13, 2014

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම හා ශ්‍රී ලංකාවේ දේශපාලන අනාගතය

අද හෙටම ජාතික මැතිවරණයක් එන ලකුණු පහලව ඇත. බොහෝ දුරට ඉඩ ඇත්තේ ජනාධිපතිවරණයක් පැවැත්වීමටය. 

මේ නිසා දැන්දැන්ම රටේ දේශපාලන තත්වය උනුසුම්කාරී මුණුවරකට අවතීර්ණ වෙමින් පවතී. පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමියන්, ප්‍රධාන විපක්ෂ කණ්ඩායම් සහ රජයේ පර්ශව කරුවන්ද පවතින දේශපාලන ක්‍රම්යේ වෙනසක් පිලිබදව අදහස් දැක්වීමට පටන්ගෙන ඇත. මෙහිදී ප්‍රධාන අදහස් 3 ක් දැකිය හැක.

1. විධායක ජනාධිපතිධූරය අහෝසි කර නැවතත් වෙස්ට්මිනිස්ටර් ක්‍රමයට යාම.
2. විධායක ජනාධිපති ධූරයේ ඇති අනිසි බලතල ඉවත් කර යම් පාලනයක් ඇති කිරීම.
3.විධායක ජනාධිපති ධූරය මෙලෙසින්ම පවත්වාගන යෑම.

මෙහි තුන්වන පාර්ෂවය එනම් මේ ක්‍රමය මෙලෙසින්ම පවත්වාගන යා යුතුයැයි කියන පිරිස. එයට හේතු වශයෙන් දක්වන්නේ. බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීමට හැකිවූයේ ජනාධිපති ධූරය පැවති බැවින් බවයි. එම නිසා රටේ ඉදිරි ආර්ථික සංවර්ධනය සදහාද විධායක ජනාධිපතිධූරය අවශ්‍ය බවයි. එම තර්කය 100% ක් සාධාරණ තර්කයක් නොවන බව මගේ හැගීමයි. විධායක ජනාධිපතිධූරයට පක්ෂ බහුතරයක් පිරිස ඔවුන්ගේ පෞද්ගලික දේශපාලන හා අර්ථික උවමනාවන් වෙනුවෙන් මිස යම් දේශපාලන දැක්මකින් මේ අදහස් ඉදිරිපත් කරන බව සිතීමට නොහැක.

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිධූරය උපතින්ම, එක් පුද්ගලයකු වටා ඉතා විශාල බලයක් කේන්ද්‍ර කරවන්නාවූත් ප්‍රායෝගික තත්වයේදී කිසිවෙකුට වග නොකියන පාලකයකු බිහි කරවනු ලබයි. එවැනි ක්‍රමයක් දිගින් දිගටම පවත්වාගන යායුතු යයි පවසන්නේ නම් ඒ දේශපාලන මෝඩකමකි.

වෙස්ට්මිනිස්ටර් ක්‍රමයට නැවත යාම.

මේ ක්‍රමය වැඩි වශයෙන් යෝජනා කරන්නේ ශ්‍රී ලංකාවේ වාමාංශික පක්ෂ නායකයන් විසිනි. මෙරට කලින් පැවති පාර්ලිමේන්තු ක්‍රමය තුල මීට වඩා හොද දේශපාලන සංස්කෘතියක් පැවති බව අවිවාධයකින් තොරව පිලිගත යුතු කාරනාවකි. නමුත් නැවත වරක් අප විසින්ම අත්හැර දමන ලද ක්‍රමයකට යා යුතුද යන ප්‍රශ්නයට අප පිලිතුරු දිය යුතුය. ජනමතය ව්‍යවස්ථාදායකය තුල විකෘති වීම මෙම ක්‍රමයේ ඇති ප්‍රධානතම දුර්වල තාවයකි. කේවල ඡන්ද ක්‍රමය යටතේ මෙම ගැටලුව විශාල ලෙස පෙන්නුම් කෙරේ හොදම උදාහරණ වනුයේ 1970 හා 1977 මැතිවරණයන්ය. එබැවින් අප නැවත වරක් පැරණි ක්‍රමයට යායුතු යයි මා විශ්වාස කරන්නේ නැත.

විධායක ජනාධිපති ධූරයේ ඇති අනිසි බලතල ඉවත් කර යම් පාලනයක් ඇති කිරීම.

ප්‍රධාන වශයෙන් ජාතික හෙල උරුමයේ අදහස වන මෙම යෝජනාව අනෙක් ක්‍රම දෙකටම වඩා ප්‍රගතිශීලී අදහසක් ලෙස සැලකිය හැක. ඒකාධිපති ක්‍රමයක් ඇති කරනු ලබන විධායක ජනාධිපති ධූරය යම් පාලනයකට යටත් කිරීම මගින් රාජ්‍ය නායකයා හිතුවක්කාර ලෙස හැසිරීම පාලනය කිරීමට මෙම යෝජනාව ගෙන එනු ලබයි. මෙහිදි ජනාධිපතිපති වරයා සතු අමාත්‍යාංශ දැරීමේ බලය සීමා කිරීම වැනි දේ සම්බන්දව අවධානය යොමුවී ඇත. බොහෝ ප්‍රවේසමෙන් මේ පිලිබදව සලකා බැලිය යුතු බව මගේ විශ්වාසයයි. එහිදි දුර්වල විධායක ජනාධිපති ධූරක් සමගම ව්‍යවස්ථාදායකයද දුර්වල වීමේ හැකියාවක් ඇත. එවැනි ගැටලු මගහරවා ගැනීමට කටයුතු කල යුතුය.

රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කාලයත් අනුව පරිනාමය වෙමින් පැමිණිය යුතුය. එය අභ්‍යන්තර සහ භාහිර දේශපාලන සාදක අනුව සංවර්ධනය විය යුතුය. අප කල යුත්තේ නැවතත් පසුපසට ගමන් කිරීම නොවේ. ඕනෑම රාජ්‍යයක් පරිනත වන්නේ ජනතාවට අවශ්‍ය ප්‍රතිසංස්කරන සදහා ජනතාව විසින් කරනු ලබන බලපෑම්වල ප්‍රතිපලයක් ලෙසය.

මෙරට මුහුනදෙන ප්‍රධානතම ගැටලුව වන්නේ අද වනතෙක් ශක්තිමත් රාජ්‍යයක් ගොඩ නගා ගැනීමට නොහැකි වීමයි. අධිරාජ්‍යවාදී යුගයේදී බිදින ලද කශේරු නැවත ගොඩ නගා ගැනීමට නොහැකීවීමයි. අදටත් අපේ රටේ පාලනය වෙනස් කිරීමට විදේශයන්ගේ මැදිහත් වීම් බාලාපොරොත්තු වන තරමටම අප බංකොලොත්වී ඇත.

අප කලයුත්තේ නැවතත් අපගේ මුල සොයා ගැනීමයි. අප විසි අපටම ගැලපෙන අපේම දේශපාලන ක්‍රමයක් සොයා යා යුතුය. මෙරට අද අවශ්‍යව ඇත්තේ සියලු ජනතාවගේ අදහස් යෝජනා මත ගොඩ නැගුනු අපට ගැලපෙන පාලන ක්‍රමයකි. ඒ සදහා සියලු පක්ෂ එක්ව සකච්ඡා කර සම්මුතියකට එලඹිය යුතුව ඇත. එමගින් ශ්‍රී ලංකාවට ගැලපෙන ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුත් පාලන ක්‍රමයක් ඇති කර ගත හැකි වනු ඇත. එ මගින් අද අප ජාතියක් ලෙස මුහුණදෙන ප්‍රශ්න රැසකට පිලිතුරු ලැබෙනු ඇත.