Sunday, January 6, 2013

ඒබ්‍රාහම් ලින්කන් තම, පුත්‍රයාගේ මුල් ගුරුතුමාට යවන ලද ලිපිය


ඇමරිකා එක්සත් ජනපදයේ 16 වන ජනාධිපත් වරයා වූ ඒබ්‍රහම් ලින්කන්  තම පුතුගේ මුල් ගුරුවරයාට ලියනලද මේ ලිපිය අද දවසට ඉතා වැදගත් යයි සිතුනා. සාරධර්ම යටපත් කරමින් කෙසේ හෝ අනෙකා පරදා ජය ගන්නට කුඩා කල සිට දරුවන්ගේ මනස විකෘති කරන තරඟකාරී සමාජයට මේ ලිපියෙන් දෙන ගුරුහරු කම ඉතා වටිනා දෙයක්.

මුල් ගුරුතුමනි,


මගේ පුතාට කියා දෙන්න හැම මනුෂ්‍යයකුම සත්‍යවාදී සහ සර්ව සාධාරණ නොවන බව. නමුත් ඔහුට කියා දෙන්න හැම තක්කඩියකු, දුර්ජනයකු පාසා ම ගුණයහපත් වීරවරයකුත් මේ ලෝකයේ සිටින බව. ඒ කියන්නෙ හැම දෙනාම තක්කඩීන් නොවේ. තක්කඩීන් වාගේම, යහපත් උදවියත් සිටින බව මගේ පුතාට උගන්වන්න. සෑම ආත්මාර්ථකාමී දේශපාලඥයකු වෙනුවට රටේ සුබසිද්ධියට කැප වුණු යහපත් දේශපාලඥයකුත් ඉන්නා බව, මගේ පුතාට ඒත්තු ගන්වන්න. සෑම සතුරකු පාසා ම මිතුරෙකුත් සිටින බව මගේ පුතාට කියා දෙන්න. ඒ වගේම කියා දෙන්න නොමිලයේ කාගෙන් හරි කොහෙන් හරි ලැබෙන ඩොලර් පහට වඩා, තමාගේ දහඩිය මහන්සියෙන් උපයන ඩොලරය වටිනාකමින් වැඩි බව. ඒ බව ඔහුට ඒත්තු ගැන්වීමට කලක් ගතවන්නට පුළුවන් බව මා දන්නවා. නමුත් ඒ සත්‍යය ඔහුට උගන්වන්න.

 පරාජය විඳ දරාගැනීමටත්, ජයග්‍රහණය නිහතමානීව සතුටින් බුක්ති විඳීමටත් මගේ පුතට උගන්වන්න. ඇතැම් උදවිය ඊර්ෂ්‍යාකාරීව ඔහු යටපත් කරන්නට, ඈත් කරන්නට ක්‍රියා කරන විට ඒවා ගැන කලකිරීමෙන් තොරව සන්සුන්ව සිටිමින්, සිත යටින් සිනාසෙන්නට හැකි ශක්තිය, රහස ගැන ඔහුට උගන්වන්න. තමන්ගේ හයිහත්තිය පෙන්වා මිනිසුන් බියගන්වන්නට එන අය මේ ලොව පරාජය කිරීමට පහසුම අය බව ඔහුට අවබෝධ කරවන්න.

මුල් ගුරුතුමනි, ඔබට හැකි නම් පොතේපතේ ඇති චමත්කාරය පෙන්වා දෙන්න. එපමණක් නොව අහසේ සැරිසරන කුරුල්ලන්, හිරුරැසේ පියාඹන මීමැස්සන්, නිල්වන් කඳු බෑවුමක පිපී වැවෙන වන මල්, කියාපාන සදාතනික රහස ගැන ඔහුට නිවීසැනසිල්ලේ සිතන්නටත් ඉඩ හරින්න.

වංචා කිරීම, හොරමැරකම් කිරීමට වඩා පරාජයට මුහුණ දීම ගෞරවාන්විත බවත් අනෙකුත් අය කුමක් කීවත් තමන්ගේ අවංක අදහස් ගැන විශ්වාසය තබා ක්‍රියා කිරීම ඉතා වටිනා බවත් මුල් ගුරුතුමනි, ඔහුට වටහා දෙන්න.ඒ වගේම මුල් ගුරුතුමනි, මගේ පුතා පුරුදු පුහුණු කරන්න මෘදු මොළොක් මිනිසුන්ට මෘදු ලෙස සලකන්නටත්, රළු මිනිසුන්ට රළු ලෙස සලකන්නටත්. තමන් වටේ සිටින උදවිය කරන දෙය අන්ධානුකරණයෙන් පිළි නොගෙන තමාගේම බුද්ධිය මෙහෙයවා යුතුකම අයුතුකම තේරුම්ගෙන ක්‍රියා කිරීමේ ශක්තිය ඔහුට ලබා දෙන්න.සෑම කෙනෙකුටම සවන් දීමට ඔහුට උගන්වන්න. එහෙත් ඔහු අසන දෙය සත්‍යය අනුව කිරා මැන බලා හොඳ දේ පමණක් ගන්නට ඔහුට හැකියාව ලබා දෙන්න. කඳුළු සැලීම ලැජ්ජාවට කරුණක් නොවන බවත් ඔහුට කියා දෙන්න. හැම දෙයකම වැරදි සොයන්නන් ගණන් නොගැනීමටත්, මිහිරි චාටු බස් දොඩන්නන් ගැන පරිස්සම් වන්නටත් ඔහුට කියා දෙන්න. තමන්ගේ හිතේ ශක්තිය වැඩිම මිලට ඉල්ලන්නන්ට විකුණුවත්, තමන්ගේ හදවත සදහා කිසි විටෙකත් මිලක් නො ඉල්ලන්නට ඔහුට උගන්වන්න. බොරු ඝෝෂාවල් කරන සෙනඟ මධ්‍යයේ කන් පියාගෙන ඉන්න ඔහුට ධෛර්යය දෙන්න. නමුත් සත්‍යය යයි පිලිගන්නා දේ වෙනුවෙන් ධෛර්යවත්ව සටන් කරන්නට ඔහුට උගන්වන්න.

මුල් ගුරුතුමනි, ඔහුට මෘදු ලෙස සලකන්න. නමුත් ඔහු හුරතල් කරන්නට එපා. වනේ හොදින් තැනිය හැක්කේ ගින්නෙන් රත්වූ විට බව ඔහුට පැහැදිලි කරන්න. ඒ නිසා ජීවිත ගමනේ දී තමාට හැඩි දැඩි රෂ්මියක් දැනුණොත්  එයින් තේරුම් ගන්නට සලස්සවන්න, ඔහු කාටවත් යටත් කරන්න බැරි මිනිසෙකු හැටියට, දියුණු වීමට ඒ අත්දැකීම ප්‍රයෝජනවත් වන බව.

ධෛර්යවත් ව දරාගත යුතු නිර්භීතකමට අවශ්‍ය ඉවසීම ඔහුට තිබිය යුතුය. හැම විටම තමා ගැන උදර උසස් විශ්වාසයක් ඇති කරන්නට ඔහුට උගන්වන්න. මුළු මහත් මිනිස් වර්ගයා ගැනම එබඳු විශ්වාසයක් ඇති කරගන්නට පුළුවන් වන්නේ එහෙම කළොත් පමණයි. එහෙත් ඔහුට මේ කියන අධ්‍යාපනය ලබා දීම බැරෑරුම් කාර්‍යයක් බව බව මා දන්නවා. ඒ නිසා මුල් ගුරුතුමනි. ඔබට හැකි හැම දෙයක්ම මගේ දරුවා වෙනුවෙන් මේ ආකාරයට කරන්න. එපමණයි, මගේ දරුවා ඒ අයුරු පන්නරය ලබන බව මට විශ්වාසයි.


ඒබ්‍රහම් ලින්කන්

උපුටා ගැනීම: නොහඳුනන ලින්කන් - ඒබ්‍රහම් ලින්කන් චරිතාපදානය | පරිවර්තනය : ගාමිණී කුමාර විතාන |

1 comment:

  1. නියමයි යාළු.මාත් දැක්කා ඔය පොත තැයෙනවා.ඒත් ගන්න බැරි උනා.දිගටම ලියන්න.ජයවේවා !

    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න

    ReplyDelete

අදහස්, යෝජනා, චෝදනා,අඩුපාඩු සියල්ල සතුටින් බාරගනිමි.